විජය - දේවිකා දියණි නවාංජනා විවාහ ගිවිස ගනී

මගේ සුදු දුවේ තාත්ත කෙනෙකුගේ හදවතේ නැෙඟනා ඒ හැඟීම වචනයට නඟන්න මොනම භාෂාවකවත් වදන් තියෙනවා කියලා මම හිතන්නේ නෑ.

ඒ තරමටම තාත්තෙකුගෙයි, දුවෙකුගෙයි තියෙන බැඳීම ජීවිතය පුරාම මම අත් වින්ඳේ ඔබගෙන්.

වෙනදා අඳින ගවුම් කොටයට වඩා ඔබ අද ඇඳලා ඉන්න ඇඳුමෙන් ඔබේ සුන්දරත්වය අපූරුවට ඔප් නැංවිලා.

ඒ සුන්දරත්වයෙන් සතුටු වෙන මගේ දෙනෙත් මට කියන්නේ වෙනම කතාවක්. අපේ කැදැල්ලෙ කීචි බීචි ගගා හිටිය සුදු දූට ඉගිල යන්න කාලය ඇවිල්ලා කියලයි.

කිරිල්ලියක් වගේ බොහොම සතුටින් එහාට මෙහාට දුවන ඔබගේ උවන අද වෙනදාටත් වඩා හැඩ වෙලා.

සුදු දූගේ අම්මා කියන ආඩම්බරයෙන් කියලා මට හිතෙන වාර අනන්තයි.

මේ සිහි කිරීම අතරතුර දෙනෙතට නැඟෙන කඳුළු කැට කිහිපයක් මම කාටත් හොරෙන් හංග ගත්තා. හදිස්සියෙන්වත් ඔබ ඒ කඳුළු දුටුවා නම් මටත් වඩා ඔබ දුක් වන බව මම දන්නා නිසයි.

මගේ හිත දුවන්නේ මීට අවුරුදු දහයකට ඉස්සර දිනයකටයි. චමින්ද ගුණරත්න පුතාගේ ඒ හමුවීම යම් දිනක අපේ ජීවිතවලට සුන්දර බලපෑමක් කිරීමට තරම් ප්‍රබල වේවි කියා මම කිසි දවසක හිතුවේ නැහැ.

එද මමත්, දේවිකාත්, සුදු දුවේ ඔයත්, මල්ලිත් ඇතුළු හැමෝම ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ගියේ ‘වෘෂභ රාජ’ වේදිකා නාට්‍ය වේදිකා ගත කරන්නයි.

සංවිධානය කිරීමේ බර කරට අරගෙන සිටිය චමින්ද පුතා බොහොම වගකීම්වලින් බැඳුණු යෞවනයෙක් කියන හැඟීම ඇති වුණේ මට එදාමයි.

ඒ වගකීම් කරට ගත්ත යෞවනයාගේ සිත අපේ දූ ළඟ නැවතිලා. ඒ සංවිධාන කටයුත්ත නිසා ඇතිවුණු හිතවත්කම නෑදෑකමකට පෙරළිලා.

සුන්දර තරුණියක් වුණු ඔබ ඔබගේ අදහස ප්‍රකාශ කළ අයුරු මට අද වගේම මතකයි. එදා දුරකතනයෙන් ගලාගෙන ආවේ ඔයාගේ ආදරණීය මෑණියන්ගේ ස්වරයයි. ඒ ස්වරය අපට ආදරණීය යෝජනාවකට මුල පිරුවා.

ඒ යෝජනාවට මමත්, දේවිකාත් කැමැති වුණේ දෙවරක් හිතන්නේ නැතිවමයි. වගකීම් දරන සුන්දර තරුණයා හා දීග යන්න දූගේ හිතේ තිබුණෙත් කැමැත්තක්. 

ළඟදීම දවසක අපේ සුදු දුව මනාලියක් විදියට කැන්දගෙන ඔස්ට්‍රේලියාවට ඉගිල්ලෙන බව මම දන්නවා.

මේ හැම දෙයක්ම කියන්නේ මගේ හිතේ හීනි දුකක් වගේම සතුටක් පෙරළි කරන නිසාමයි.

නව වසරේ උදාවත් සමඟම දුකක් වගේම සතුටක් දැනුණේ අපේ ආදරණීය රංගන ශිල්පියාටයි.

විජය අයියා නමින් අපි හැමෝගෙම ආදරය දිනා සිටින ඔහුගේ එකම දියණිය නවාංජනා මිහිරාණි නන්දසිරි ජනවාරි 6 වැනිදා විවාහ ගිවිස ගත්තා.

ඇගේ හිත ගත්ත මනාලයා චමින්ද ගුණරත්න. නවාංජනාගේ විවාහ ගිවිස ගැනීමට අත්සන් කළේ අපේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා.

Posted by Ravaya on 4:30 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "විජය - දේවිකා දියණි නවාංජනා විවාහ ගිවිස ගනී"

Leave a reply