අනාගත නූගතුන් හැදීම සමග - නැවතත් - පැන්ෂන් මගඩියක්

සේවක අර්ථසාධක අරමුදලේ ප‍්‍රධාන කාර්ය වනුයේ වෙනත් විශ‍්‍රාම වැටුපකට හෝ  අර්ථසාධක අරමුදලකට හිමිකම් නොලබන රජයේ, සංස්ථා හා පුද්ගලික අංශයේ  සේවකයින්ට, විශ‍්‍රාම දිවිය සුරක්ෂිත කිරීම සඳහා විශ‍්‍රාම ප‍්‍රතිලාභ සැපයීමයි.(ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදලට අදාල නිල වෙබ් අඩවිය)


මහජන මුදලින් පාර්ලිමේන්තුවෙහි නඩත්තු කරන මන්තී‍්‍ර පිරිසෙන් විපක්ෂය යැයි කියා ගන්නා ජ.වි.පෙ සහ යු.ඇන්.පී මන්තී‍්‍රවරුන් ගේ අඳබාලකම් හා වගකීම් විරහිත දේශපාලනයේ වාසිය ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුවට ය. පසු ගිය වසරේ අපේ‍්‍රල් මාසයේ කිසිදු හදිස්සියක් නැතිව නමුත් හදිස්සියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, මහ භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ගේ කෙටුම් පතක් යැයි ප‍්‍රසිද්ධියේ කියැවුන සේවක විශ‍්‍රාම වැටුප් අරමුදල් පණත, එසේ ඉදිරිපත් කරන්නේ කෙසේදැයි අස්නනටවත් ඔවුන්ට සිරසක් නැති වූයෙන් ආණ්ඩුව එහි පළමු කියැවීම අවසන් කර, දෙවන හා තෙවන කියැවීම අපේ‍්‍රල් 23 වන දිනට නියම කර ගත්තේ ය. එහි ඇත්තේ කුමක්දැයි කියා දැන ගැනීමට හෝ ජ.වි.පෙ හා යු.ඇන්.පී මන්තී‍්‍රවරුන්ට එදා වුවමනාවක් නොතිබිණ.

රාපක්ෂ ආණ්ඩුවේ ඒ උත්සාහය, පාර්ලිමේන්තුවේ ඔවුන් ගේ තුනෙන් දෙකේ අධි බලය නොතකා හකුලා ගැනීමට සිදු වූයේ, වෘත්තීය සමිති ඒකාබද්ධ එකතුව ඊට විරුද්ධව ඉදිරිපත් වූයෙන් මිස, පාර්ලිමේන්තුවේ නිදා සිටි ජ.වි.පෙ හෝ වෙනත් බලවතෙකු නිසා නොවේ. එහෙත් සේවක අර්ථසාධක අරමුලට අත පොවා ගැනීමට රාජපක්ෂ ආණ්ඩුවට ඇති වුවමනාව එයින් අහවර වන්නේ නැත. ඒ වෙනුවෙන්, අත හැර දැමුනු පණතටත් කලින් කම්කරු ඇමති මගින් අර්ථසාධක අරමුදල් පණත සංශෝධනය කිරීමේ පණතක් 2011 පෙරවාරි 11 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුලූ කිරීමට ආණ්ඩුව කල් දී තිබිණ. එය ගැසට් පත‍්‍රයට ඇතුලූ කර ඇත්තේ 2010 දෙසැම්බර 13 වන දින ය. එහෙත් ඒ බැව් මේ මහා විප්ලවාදී ජ.වි.පෙ මන්තී‍්‍රවරුන්වත් පාර්ලිමේන්තුවේ ඉන්නා යු.ඇන්.පියේ ජනහිතකාමීන්වත් මෙතෙක් කතා කර නැත. ඔවුන් ඒ ගැන දන්නේ දැයි ද සැකයෙකි. දැන සිටියත් ඔවුන්ට ඒ් ගැන කතා කිරීමේ වුවමනාවක් නැති බව යළිත් පැහැදිලි ය.

මේ විශ‍්‍රාම වැටුප් කතාවට ඉතා පැහැදිලි පූර්ව කතනයක් පළමුව එක් කළ යුතුව ඇත. මේ රටේ සෑම ශ‍්‍රමිකයෙකුම, ඔහු ගේ හෝ ඇයගේ හාම්පුතා කවරෙකු වූවත් සිය ශ‍්‍රම දායකත්වය එකතු කරන්නේ ජාතික නිෂ්පාදනයටත් රටේ ආර්ථික පැවැත්මටත් ය. ඒ දායකත්වයේ වටිනාකම අඩු වැඩි තරමින් සෑම පුරවැසියෙකුම බුක්ති විඳින්නකි. එවැනි ශ‍්‍රමිකයෙකු ගේ සේවා කාලය වයස හෝ වෙනත් නොවැළැක්විය හැකි සාධාරණ කාරණයක් මත අවසන් වූ විට, ඔහුව හෝ ඇයව වැදගත් ලෙස නඩත්තු කිරීමේ වගකීම, සමාජය බාර ගත යුත්තකි. සමාජ වගකීම ඉටු කිරීමේ අයිතිය හා පැවරුම ඇත්තේ ආණ්ඩුවට ය. එනිසා ඒ වෙනුවෙන් අවශ්‍ය මහජන මුදල් වෙන් කර ගැනීමේ වගකීම ආණ්ඩුවේ වගකීමකි.

දෙවැන්න, එවැනි විශ‍්‍රාම වැටුපක් වෙනුවෙන් නැවත ශ‍්‍රමිකයාගෙන්ම අය නොකර ගැනීමේ සදාචාරය පිළිගැනීමක් ද ඇත. අපේ රජයේ සේවකයින් එය සැළකිය යුතු පමණින් බුක්ති විඳිනවුන් ය. මාසිකව ගෙවන ඔවුන් ගේ විශ‍්‍රාම වැටුප වෙනුවෙන් සේවා කාලය තුල කිසිදු සාමාජික මුදලක් හෝ වාරික මුදලක් කපා ගැනෙන්නේ නැත. එවැනි 4,70,000 ට වැඩි රජයේ විශ‍්‍රාමික පිරිස වෙනුවෙන් දළ වශයෙන් රුපියල් දස ලක්ෂ 100 ට වැඩි මුදලක් අය වැයෙන් වෙන් කෙරෙන්නේ ය.
එනමුත් සේවක අර්ථසාධක අරමුදල එවැන්නක් නොවේ. එය 1958 අංක 15 නමැති සේවක අර්ථසාධක අරමුදල් පණත නමින් සම්මත වූ හා පසුව කිහිප වරක් සංශෝධනය කෙරුනු නීතිය යටතේ රජයේ විශ‍්‍රාම වැටුප් හිමි නොවන, වැටුප් ලබන සේවකයා සාමාජිකයෙකු ලෙස බඳවා ගැනීමෙන් ඔහුට හෝ ඇයට හිමි අර්ථසාධක සාමාජික ගිණුමට, ඔවුනගේම වැටුපෙන් කපා බැර කරන හා හාම්පුතා විසින් සිය සේවකයා වෙනුවෙන් බැර කරන මුදලින් පවත්වා ගන්නා අරමුදලකි. එහි ඇති සෑම සතයක්ම එනිසා ආණ්ඩුවට නොව, සේවකයාට හිමි මුදලකි.

එනමුත් නීති සම්පාදනය කිරීමේ ව්‍යවස්ථාමය බලය ආණ්ඩුව සතු හෙයින්, මේ රාජපක්ෂ ආණ්ඩුව දෙවන වරටත් සේවක අර්ථසාධක අරමුදල සිය අභිමතය අනුව පරිහරණය කිරීමේ අවකාශයන් හදා ගැනීමට උත්සාහ කරන්නේ ය. පසු ගිය වර සේවක විශ‍්‍රාම වැටුප් අරමුදලක් පිහිටු වීමට පාර්ලිමේන්තුවට පණත ඉදිරිපත් කෙරුවේ ද පවතින සේවක අර්ථසාධක අරමුදල යොදා ගැනීමේ, සීමා රහිත අයිතියක් ඇතිව ය. ආණ්ඩුවට කෙසේ හෝ මුදල් සොයා ගැනීමට සිදුව ඇති බංකොලොත්කම හමුවේ, රටේ දැනට පවතින විශාලම විශ‍්‍රාම ප‍්‍රතිලාභ අරමුදල ලෙස (සේවක අර්ථසාධක අරමුදලෙහි 2009 වසරෙහි වාර්තා වූ) රුපියල් බිලියන 752.2 ක සේවක අර්ථසාධක අරමුදල අත හැර සිටිය නොහැක. 

මෙහි මුදල් යන එන සැටි බැලූවහොත් ආණ්ඩුව කෙසේ හෝ මෙයට අත පොවන්නට උත්සාහ කිරීම, තේරුම් ගැනීමට අමාරු නැත. දැනට ප‍්‍රසිද්ධියට පත් කර ඇති 2009 වාර්තාව මත මෙහි දස ලක්ෂ 12.5 ක් වන මුඵ සාමාජිකත්වයෙන් සකී‍්‍රය ගිණුම්, නැතිනම් වාර්තාව පවසන ආකාරයට, ‘‘දායක මුදල් එවනු ලබන සාමාජික ගිණුම්’’ සංඛ්‍යාව වුයේ දස ලක්ෂ 02 කි. එහි අනෙක් තේරුම නම්, දස ලක්ෂ 10 ක පමණ ගිණුම් සඳහා කි‍්‍රයාත්මක සාමාජිකයින් නැත. එනිසා ඒවායින් විශාල ප‍්‍රතිශතයක සාමාජික මුදල් නැවත ඉල්ලීමට කිසිවකු ඉදිරිපත් නොවීමට ද බෙහෙවින් ඉඩ ඇත. එය ද සු`ඵ පටු රුපියල් බිලියන ගණනක් විය නොහැක.

අනෙක වාර්ෂිකව (2009) අරමුදලට බැර වන්නේ රුපියල් බිලියන 48 ක් පමණ වන විට, වාර්ෂිකව සාමාජික ඉල්ලූම් පත් සඳහා විශ‍්‍රාම ප‍්‍රතිලාභ ලෙස ගෙවෙන්නේ රුපියල් බිලියන 32 ක් පමණ ය. එබැවින් වාර්ෂිකව දළ වශයෙන් රුපියල් බිලියන 16 ක පමණ ස්වභාවික ලාභයක් ද ඉතිරි වන්නේ ය. එය වඩාත් පැහැදිලිව තේරුම් ගන්නේ නම්, හැම මොහොතකම රුපියල් බිලියන 750 ක් පමණ ඇති අරමුදලෙන් සාමාජිකයින් සඳහා විශ‍්‍රාම ප‍්‍රතිලාභ ලෙස අවුරුද්ද පුරා ගෙවන්නට සිදුවන්නේ රුපියල් බිලියන 32 ක් පමණ මුදලක් නම්, ඉතිරිය පරිහරණය කරන්නට භාණ්ඩාගාරය බංකොලොත් කර ඇති රාජපක්ෂලා මාන බැලීම අරුමයක්ම නොවේ. එහෙත් මේ මුදල් ආණ්ඩුවේ හිතු මනාපයට වියදම් කළ හැකි මුදල් නොවේ. මේවා හිමි දස ලක්ෂ 10 ක සේවක පිරිසක් අවම වශයෙන් ඇත.

එබැවින් මෙවර ඒ මුදලට අත පෙවීම සඳහා අර්ථසාධක අරමුදල් පණතට රාජපක්ෂ ආණ්ඩුව සංශෝධන ඉදිරිපත් කර ඇත්තේ පසු ගිය වර මෙන් හිතුවක්කාර අන්දමින් නොවේ. මෙවර යම් පමණක ප‍්‍රවේශමක් හා සියුම් බවක් බැලූ බැල්මට ඇත. තම වුවමනාවන් වෙනුවෙන් පේ‍්‍රමදාස ජනාධිපති රුසිරිපාල යොදා ගැනීමට සූදානම් වූවාට වඩා විවෘතව, තම හඩ කවා ප‍්‍රචාරය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව මෙවර දේවෙන්ද්‍ර යොදා ගෙන ඇති සැටියක් ද පෙනේ. දේවේන්ද්‍ර-ලා පැමිණ කුමක් කීවත් අවසානයේ සිදුවන්නේ එකම දෙයකි. රාජපක්ෂ ආණ්ඩුව ඔවුන් ගේ ව්‍යාපෘති සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සේවකයින් ගේ මුදල් පරිහරණය කිරීමේ අයිතිය මෙම පණත් සංශෝධනයෙන් ලබා ගන්නේ ය.

එවැනි මුදල් පරිහරණය කිරීම් පිලිබඳව කිසියම් අවබෝධයක් ලබන්නට හැකි එක් සාධකයක් වන්නේ මේ රාජපක්ෂ පාලනය, මහ පරිමාන ඉදිකිරීම් සඳහා දක්වන කෑදර කම තේරුම් ගැනීමෙනි. ලබන 17 වන දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට යෝජිත මෙම සංශෝධනයේ එක් වගන්තියක් වනුයේ පවතින පණතෙහි අංක 1(ඉ) ෙඡ්දයේ අගට එකතු කිරීමට යෝජනා කෙරෙන‘‘(ඉඉ) සේවක අරථසාධක අරමුදල වෙනුවෙන් ලේකම් කාර්යාලයක අරමුදල අයත් වූ හෝ එය විසින් දරනු ලබන හෝ එම කාර්ය සඳහා මිල දී ගන්නා ඉඩමක් මත ඉදි කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ අරමුදලේ යම් මුදල් ප‍්‍රමාණයක්, නියම කරනු ලැබිය හැකි නියමයන් හා කොන්දේසි මත, අරමුදලේ ප‍්‍රයෝජනය සඳහා ආයෝජනය කරනු ලැබිය හැකි වේ.’’ යන සංශෝධන යයි.

මෙහි අවම හෝ උපරිම සීමාවක් නැත. ඇත්තේ ‘‘යම් මුදල් ප‍්‍රමාණයක්’’ යැයි  ඕනෑම මුදල් ප‍්‍රමාණයක් ලබා ගැනීමේ අවසරයයි. ප‍්‍රශ්නය වනුයේ, ඒ මුදල් පරිහරණය කිරීමේ බලය ඇත්තේ කාටදැයි නිශ්චිතව සඳහන් නොකිරීමෙහි ය. මේ යෝජිත සංශෝධන පණතේ එවැනි බොහෝ හංගා ඇති නීති යෙදුම් ඇත. ඒවායේ අර්ථකතනය අවසානයේ දී ලබා ගන්නේ ද රාජපක්ෂ ආණ්ඩුවම හෙයින් එවැනි අවිනිශ්චිතයන් තබා ගැනීම ඔවුන්ට වඩා පහසු ය.

‘‘විශ‍්‍රාම දිවිය සුරක්ෂිත කිරීම සඳහා විශ‍්‍රාම ප‍්‍රතිලාභ සැපයීම’’ ප‍්‍රධානම අරමුණ වන අර්ථසාධක අරමුදල, වෙනත් අරමුදල් හා සේවා ආයතන ලබා දෙන වෛද්‍ය පහසුකම් වෙනුවෙන් ද වැය කිරීම බරපතල අපතේ යැවීමක් බව නොකිවමනා ය. ජනාධිපති අරමුදලින් හා සේවක භාරකාර අරමුදලින් දැනටත් ලබා දෙන වෛද්‍ය හා සෞඛ්‍ය සේවා වියදම් වෙනුවෙන් අර්ථසාධක අරමදල සංශෝධනය කර විවෘත කිරීම පැහැදිලිවම අනවශ්‍ය බොරුවකි. මෙය ඇතුඵ කර ඇත්තේ රැවටීමකට ය. එළෙසින්ම නිවාස ණය ලබා දීම සඳහා විශ‍්‍රාම දිවිය නඩත්තු  කිරීම වෙනුවෙන් වැටුපෙන් එකතු කෙරෙන මුදල් වැය නොකළ යුතු මුත්, එයද වඩා විස්තරාත්මකව 4(අ) සිට (ඉ) දක්වා යළි ඇතුඵ කර ඇත. මේ කාරණා දෙකම, දේවක අර්ථසාධක අරමුදල පිහිටුවීමේ මූලික අදහසට, මුඛ්‍ය පරමාර්ථයට සහමුලින් පටහැනි කාරණා ය.

එහෙත් ඒවා නැතිව, එකවර විශ‍්‍රාමයක් ගැන කතා කිරීම අවාසිදායක යැයි, දේවේන්ද්‍ර-ලාගේ වෘත්තීය සමිති ඉව, පෙන්වා දෙන්නට ඇත. විශ‍්‍රාමය ගැන කතාව එන්නේ එනිසා අනතුරුව ය. එය මෙවර එන්නේ රක්ෂණයක් ද එකතු කර, ‘‘24.අ(2) රක්ෂණ හෝ විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමයට හෝ එම යෝජනා ක‍්‍රම දෙකටම බැඳීමට කැමති, අරමුදලේ සෑම සාමාජිකයෙකුම.....’’ යන පොඩි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාට කිරීමක් ද ඇතිව ය. ඒ වෙනුවෙන් මුල් පණතේ 24 වන වගන්තිය ඉවත් කර 24.අ(1) මෙලෙසින් ඇතුලූ කර ඇත. ‘‘අරමුදලේ සාමාජිකයින් ගේ යහපත උදෙසා, කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලැබිය හැකි පරිදි වූ නියමයන් හා කොන්දේසි වලට යටත්ව, අවස්ථාවෝචිත පරිදි, හෝ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් සහ රක්ෂණ යෝජනා ක‍්‍රමයක් පිහිටුවනු ලැබිය හැකි ය.’’

මෙය ඉතා කදිමට රාමු කරන ලද්දකි. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට කැමති නම් පමණක්, විශ‍්‍රාම වැටුප් හා රක්ෂණ ක‍්‍රමයක් ආණ්ඩුව ලබා දෙන්නේ ය. ඒ කාගේ මුදලින් ද ? එය පැහැදිලිව නොකීමට රාජපක්ෂ ආණ්ඩුව වග බලා ගෙන ඇත. එහෙත් එය පිහිටුවීමේ පූර්ණ බලය මේ සංශෝධන පණතින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට ලබා දී ඇත. කම්කරු කොමසාරිස් ජනරාල්වරයෙකු තනතුර දරන්නේ ඇමතිවරයා ගේ කැමැත්ත ද ඇතිව වන අතර, ඇමතිවරයා තීන්දු වන්නේ රාජපක්ෂ-ලාගේ හිත සුව පිණිස ය. එනිසා, මේ පණත් සංශෝධනයෙන් ‘‘කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලැබිය හැකි පරිදි වූ නියමයන් හා කොන්දේසි’’ රාජපක්ෂ ආණ්ඩුවේ නියමයන් හා කොන්දේසි වීම වැළැක් විය නොහැකි ය.

ඒ අනුව - මෙය අවධාරණය කළ යුත්තකි - පසු වගන්තියේ කියැවෙන, ‘‘බැඳීමට කැමති, අරමුදලේ සෑම සාමාජිකයෙකුම’’ යන අවසරය අනුව, කිසිදු සාමාජිකයෙකු මේ යෝජනා කරන විශ‍්‍රාම වැටුප් හා රක්ෂණ ක‍්‍රම දෙකට නොබැඳුන ද, රාජපක්ෂ-ලා තීන්දු කළ විට, කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලබන නියමයන් හා කොන්දේසි වලට යටත්ව, අවස්ථාවෝචිත පරිදි, විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් සහ රක්ෂණ යෝජනා ක‍්‍රමයක් පිහිටුවනු ඇත. අනතුරුව ඔවුන්ම අර්ථකතනය කර ගන්නා පරිදි, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික මුදල් බිලියන ගනණක් මේ යෝජිත අරමුදල් පිහිටුවීමට සහ ඒවායේ ලේකම් කාර්යාල සඳහා නෙඵම් පොකුණු වැනි යෝධ ඉදිකිරීම් වෙනුවෙන් යොදා ගැනීම වැළකිය නොහැකි වනු ඇත.

මේ මහා මංකොල්ලයකට මුල පිරුමකි. එවැනි මංකොල්ල කිරීම් සඳහා සැළසුම් කෙරෙන්නේ කිසිදු සංවර්ධනාත්මක ආර්ථික සැළැස්මක් නොමැති රාජපක්ෂ ආණ්ඩුවේ අභිමතය අනුවම ය. මෙවැනි ආණ්ඩුවකට උගත් ශ‍්‍රමයක් ද අවශ්‍ය නැත. සා. පෙළ විභාගයේ ළකුණු මට්ටම් පහත දමා, උසස් පෙළ විභාග ඵ‍්‍රතිඵල හෑල්ලූ කර ඔවුන් මේ යන්නේ අනාගතයේ දී උගත් කමක් නැති හරියාකාර විශ‍්‍රාමයක් ද නොදෙන පරම්පරාවක් හැදීමට ය. එනිසා වෘත්තීය සමිති පමණක් නොව, සමාජජයේ අනෙක් සියලූ සංවිධිත, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දැනුවත් පිරිස් මෙම කාරණා දෙක තුන එකට ගෙන තම විරෝධය දැක්වීම දනටත් ප‍්‍රමාද වූවත් කාලෝචිත ය.      
මෙවැනි කොල්ලකාරී ආණ්ඩු, සංවිධිත ශ‍්‍රමික පිරිස් සතු අයිතීන් කප්පාදු කිරීම පමණක් නොව, ඊළග ශ‍්‍රමික පරම්පරාව, නූගත් පරම්පරාවක් කිරීම ද එකම සැළැස්මක වගන්ති දෙකක් ලෙස කි‍්‍රයාත්මක කිරීම සාමාන්‍ය රීතියකි.

- කුසල් පෙරේරා

Posted by Ravaya on 3:54 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "අනාගත නූගතුන් හැදීම සමග - නැවතත් - පැන්ෂන් මගඩියක්"

Leave a reply