බන්ධනාගාරයේ ඇතිවූ ගින්නෙන් රැදවියන් සියලූ දෙනාගේම තොරතුරු ඇතුළත් ලේඛන විනාශ වී ඇත.
මැගසින් බන්ධනාගාරයේ ඊයේ (24) ඇතිවූ ගින්නෙන් එහි රැදවියන් සියලූ දෙනාගේම තොරතුරු ඇතුළත් ලේඛන මුළුමනින්ම විනාශ වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියි. රැදවියන් එම ලේඛන ඇතුළත් ගොඩනැගිල්ලට සහ එහි ගබඩාවට ගිනි තබා ඇත. මීට අමතරව මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් රැදවියන් දෙදෙනෙකු ඊයේ (24) රාත‍්‍රී 9.30ට පමණ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප‍්‍රසාද් ආරියවංශ මහතා පවසයි. ඒ අනුව මේ වන විට බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 33 දෙනෙකු ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
මැගසින් බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන්නැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා සිය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.
එසේම වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ඊයේ (24) ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විෂය භාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කරනු ලැබු බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක සතිෂ් කුමාර් මහතා පැවසිය. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූල පියවර ගැනීමට අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා එම කමිටුවට උපදෙස් ලබා දුන් බව කියා සිටි සතිෂ් කුමාර් මහතා, බන්ධනාගාර පාලන කටයුතු සිදුකිරීමේදී නීත්‍යානුකූලව ලැබී ඇති බලතල උපරිමයෙන් භාවිත කර පාලන කටයුතු වඩාත් යහපත් තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ද ඊයේ (24) පැවැති සාකච්ඡාවකදී තීරණය කළ බව වැඩිදුරටත් කියා සිටියේය.
නිල නොලත් තොරතුරු වලට අනුව රැදවියන් කීපදෙනක් ජීවිතක්ෂයට පත් වු බවට තොරතුරු ලැබී ඇත. නම් ගම් සහිතව ඉදිරි පැය 24 තුල දී ඒ පිලිබදව සත්‍ය තොරතුරු රාවය ඔබ වෙත ගෙන ඒමට බලාපොරෝත්තුවේ.
0 comments for "බන්ධනාගාරයේ ඇතිවූ ගින්නෙන් රැදවියන් සියලූ දෙනාගේම තොරතුරු ඇතුළත් ලේඛන විනාශ වී ඇත."