2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී උසේන් කුමන පෙරළියක් කරයිද?
ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකානු ජාතික උසේන් බෝල්ට් එළඹෙන 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී කුමන පෙරළියක් සිදු කරනු ඇතිද යන්න පිළිබදව ක‍්‍රීඩා ලෝලීන් හට ඇත්තේ දැඩි කුතුහලයකි. 2008 වසරේදී ජැමෙයිකානු ජාතික අසාෆා පවෙල් සතුවූ මීටර් සියය දිවීමේ තරගය සඳහා වූ ලෝක වාර්තාව උසේන් විසින් බිඳ දැමුවේ තප්පර 9.72 කාලයක් වාර්තා කරමිනි. අසාෆා පවෙල් සතුවූ වාර්තාව වූයේ තත්පර 9.74 කි.එසේ ලොව වේගවත්ම මිනිසා බවට පත්වී මාස තුනක් ඉක්මයාමටත් පෙර උසේන් බෙයිජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ඉසව්වෙන් 9.69 ක වේගයක් වාර්තා කරමින් තමන් සතු වූ ලෝක වාර්තාව අලූත් කළේය. එයින්ද නොනැවතුණු උසේන් ඉන් වසරකට පසු බර්ලිනයේදී 9.58 ක් වශයෙන් සිය වාර්තාව නැවතත් අලූත් කළේය.
එමෙන්ම මීටර් 200 ඉසව්වෙන්ද ලෝක වාර්තාවට හිමිකම් කීමට උසෙන් සමත්වූ අතර ඔහු එම දස්කම පෑවේ 2008 දී තත්පර 19.30 ක් වාර්තා කරමිනි. ඔහුට පෙර ලෝක වාර්තාවට හිමිකම් කියූ ඇමෙරිකාවේ මිචෙල් ජොන්සන්ගේ කාලය වූයේ තත්පර 19.32 කි. කෙසේ වුවද නැවත වරක් 2009 බර්ලිනයේදී ඔහු මීටර් 200 ඉසව්ව තත්පර 19.19 කින් අවසන් කරමින් සිය වාර්තාව අලූත් කර ගත්තේය.
2008 බෙයිජිං ඔලිම්පික් උළෙලේදී උසේන් දැක්වූ දක්‍ෂතා දුටු හිටපු මීටර් 200 ලෝක ශූර ඇටෝ බොල්ඩන් පෙන්වා දුන්නේ තරග අවසාන කිරීමේදී උසේන් දක්වන උදාසීනත්වය හා ප‍්‍රදර්ශනාත්මක හැසිරීම නොවන්නට ඔහුට මීටර් 100 ඉසව්ව තත්පර 9.59 ක කාලයකින් අවසන් කළ හැකිව තිබූ බවය. කෙසේ වුවද ඉන් වසරකට පසු බර්ලිනයේදී උසේන් ඒ අපේක්‍ෂිත කාලයද අභිබවමින් තත්පර 9.58 කින් තරගය අවසන් කළේ සමස්ත පේ‍්‍රක්‍ෂාකාගාරයම විමතියෙන් අළලවමිනි.
එම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උසේන් කියා සිටියේ තමාට කොතරම් වේගයෙන් දිවිය හැකි දැයි අවංකව තමාද නොදන්නා බවය. ‘‘ කොහොම වුණත් තත්පර 9.5 කින් මීටර් 100 තරගය අවසන් කිරීම කියන්නේ ඇත්තටම ලොකු ජයග‍්‍රහණයක්. විශේෂයෙන්ම ඒ දේ කරපු පළමු මිනිසා වීම ගැන මට යම් අභිමානයකුත් තියෙනවා’’ යනුවෙන් ඔහු පැවසීය. උසේන්ගේ පුහුණුකරු වන ග්ලේන් මිල්ස් තරගයෙන් අනතුරුව පවසා තිබුනේ උසේන්ගේ උදාසීන ක‍්‍රීඩා නිම කිරීම නොවන්නට තත්පර 9.52 දක්වා ළගාවීමට ඔහුට හැකියාව තිබූ බවයි. එමෙන්ම මීටර 100 ඉසව්ව ක‍්‍රීඩා කිරීමට ආරම්භ කර වසරක් තුළ මේ ජයග‍්‍රහණය ලබාගන්නට ලැබීම ගැනද ග්ලේන් මිල්ස් ප‍්‍රසාදයෙන් අදහස් පළ කර තිබිණි.
උසේන් බෝල්ට් මෙතෙක් දැක්වූ දක්‍ෂතාවයන් හා ඔහුගේ අනාගත ගමන් මග ගැන ද විවිධ විචාරකයන් විවිධ අදහස් පළ කරමින් සිටිති. ඇමෙරිකානු ජාතික මලල ක‍්‍රීඩා ශූර මිචෙල් ජොන්සන් පවසනුයේ එළඹෙන ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී මීටර් 100 හා 200 යන ඉසව් දෙක තුළින්ම ජය ලැබීමට උසේන් සමත්වනු ඇති බවත් ඒ පිළිබදව ඔට්ටු ඇල්ලීමට පවා තමන් සූදානම් බවත්ය. මීටර් 100 හා මීටර් 200 යන කෙටි දුර ධාවන ඉසව් දෙකින්ම ලෝක වාර්තාවන්ට හිමිකම් කියන උසේන් බෝල්ට් 2012 ලන්ඩන් ඔලිම්පික්හිදී සුපුරුදු දක්‍ෂතා දක්වමින් සිය වාර්තා අලූත් කරනු ඇත යන්න සුවහසක් ක‍්‍රීඩා ලෝලීන්ගේ අපේක්‍ෂාව ද වී තිබේ.
මේ නිසාම ජනතාව උසේන් බෝල්ට් තවත් ඓතිහාසික ක‍්‍රීඩා චරිතයක් ලෙස දැකීමට ද හුරු වී සිටිති. නමුත් බී.බී.සී ලෝකසේවය සමග අදහස් දක්වමින් උසේන් පැවසුයේ තමන් තවමත් එවන් ඓතිහාසික චරිතයක් නොවන බවය. ‘‘මම අනිවාර්යෙන්ම දක්‍ෂයෙක්. ඒ ගැන සැකයක් නැහැ. නමුත් ඓතිහාසික ක‍්‍රීඩා චරිතයක් වෙන්න නම් ක‍්‍රීඩකයා තමන්ගේ ඔලම්පික් වාර්තා නොබිදෙන මට්ටමට ස්ථාවර කරගන්න ඔනේ. මගේ උත්සාහයත් එකම තමයි’’ යනුවෙනි.
මේ අතර හිටපු ලෝක ශූර මලල ක‍්‍රීඩක මොරිස් ග‍්‍රීන් බී.බී.සී. ලෝක ගුවන් විදුලිය අමතමින් කියා සිටියේ ඉකුත් වසර තුළ දැක්වූ දක්‍ෂතා අතරට සියලූ ක‍්‍රීඩකයන් අවතීර්ණ වන්නේ නම් යොහොන් බ්ලේක් ලන්ඩන් ඔලිම්පික්හිදී ජයගනු ඇති බවය. කෙසේ නමුත් උසේන් සහ බ්ලෙක් ගෙන බැලවීට 5-1 වශයෙන් ඉදිරියෙන් පසුවන්නේ උසේන්ය. බ්ලේක් විසින් ජයගනු ලැබුයේ වැරදි ආරම්භයක් ගැනීම නිසා උසේන්ට සහභාගී වීමට නොලැබුණු ඩයේගු තරගයය. නමුත් එහිදී බ්ලේක් ජයගත්තේ තත්පර 9.92ක කාලයක් වාර්තා කරමිනි. උසේන් සහභාගී වූ තරගයකින් ඔහු පරාජය ලබාඇත්තේ ඇමරිකාවේ ටයිසන් ට පමණි. එහිදී ද උසේන් මනා සෞඛ්‍ය තත්ත්වයකින් නොසිටීම ඊට හේතුවූ බව විචාරකයින්ගේ අදහසයි. ඒ අනුව ඉකුත් වසර 2 තුළ පැවති අවසාන තරග 14 කදී ඔහු පරාජය වී ඇත්තේ එක්වරක් පමණි.
එළඹෙන ලන්ඩන් ඔලිම්පික්හිදී රන් පදක්කම් 4ක් ලබැගැනීමේ අපේක්‍ෂාවෙන්ද උසේන් පසුවෙයි. ඒ මීටර් 100 හා 200 ට අමතරව මීටර් 400 හා 4ඞ400 ඉසව්වලට සහභාගී වෙමිනි. මීට පෙර මෙම දක්‍ෂතාවය දක්වා ඇත්තේ කාල් ලූවිස් පමණි. එමෙන්ම ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ඔහුගේ සාර්ථකත්වය අනුව පිට පිට දෙවරක් ඔලිම්පික් ජයග‍්‍රහණය ලබාගත් දෙවැනියා වීමේ අවස්ථාවද උසේන් සතුවනු ඇත. ඒ දක්‍ෂතාවය මීට ප‍්‍රථම දක්වා ඇත්තේ කාල් ලූවිස්ය.
කෙසේ නමුත් උසේන්ගේ ධාවන ආරම්භය පිලිබද යම් ගැටලූකාරී තත්ත්වයක් පවතින අතර අඩි 6 අගල් 5 ක් වූ ඔහුගේ උස ප‍්‍රමාණයද ඒ සඳහා ඔහුට බාධාවක් වී ඇත.
ලන්ඩන් ඔලිම්පික්හිදී සිය වාර්තා අලූත් කර ගනිමින් ඓතිහාසික ක‍්‍රීඩකයෙකු වීමට උසේන් උත්සාහ ගන්නා අතරම ඔහුගේ සුපිරි දක්‍ෂතා නැවතත් දැක ගැනීමේ අපේක්‍ෂාවෙන් ක‍්‍රීඩා ලෝලීන් බලා සිටිති.













0 comments for "2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී උසේන් කුමන පෙරළියක් කරයිද?"